දිගහැරුම්

Thursday, March 12, 2015

පොලවේ අම්මෙක්,තාත්තෙක්

එදා ටිකක් කලබලකාරී ඉරිදා දවසක්.මම අපේ රට තරඟ කරනා කිසිම ක්‍රිකට් තරඟයක් අත්නොහරින පුද්ගලයෙක්.නමුත් අවසානයේ ලංකාවේ පරාජයේ ශෝකයත් අත්විඳීමට සිදුවුන මට සති අන්තයේ මා බෝඩිම බලා ගමන්කරන හවස හතරේ දුම්රියද අල්ලා ගන්න බැරිවුනා.අවසානයේ අසතුටෙන් වුවත් බස් රියකට ගොඩවී බෝඩිමට ගමන් කරන්න සිදුවුනා.

ඒක ලංගම බස් රථයක්.සෙනග පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ.ගමන් මල්ල බසයේ රාක්කයකට දාපු මම පුළුවන් තරම් වෙර දාලා බසයේ මැදටම ගියා.වටපිට විපරම් කල මට එකවරම දිස්වුනේ ඉතා දුක්බර දර්ශනයක්.ඉතා පරණ,දුර්වර්ණ වූ ඇඳුම් වලින් සැරසී සිටි තරුණ යුවලක් මට ඉදිරිපස අසුනේ වාඩිවී සිටියා.එපමණක් නොවෙයි,ඔවුන්ගේ අතේ මාස 10ක් (මට සිතෙන අයුරෙන්) පමණ වයසැති චුටි දරුවෙක්.ප්‍රමාණයෙන් ඉතා කුඩා බ්ලැන්කට්ටුවක රඳවාගෙන සිටි ඒ දරුවා මාරුවෙන් මාරුවට ඒ දුප්පත් අම්මා හා තාත්තා අතේ හුරතල් වෙමින් හිටියා.ගමනේ යම් දුරක් අවසන් වූ පසු බසය තේ බීමට තේ කඩයක් නතර කලා.

දැකගන්නට ලැබුනේ ඉතා දුක්බර මොහොතක්.යම් ආහාරයක් කඩයෙන් රැගෙන කෑමට අතමිටේ මුදල් නොමැති මේ යුවල තමන්ගේ මල්ලේ කඩදාසියක ඔතා තිබු යම්දෙයක් එලියට ගත්තා.රොටි කිහිපයක් හා ලුණු මිරිස් ටිකක් එහි තිබුනා.රොටි කැල්ලක් කඩාගත් ඒ තරුණයා එහි ලුණු මිරිස් ස්වල්පයක් තවරා තරුණියට කැව්වා.තවත් චුටි රොටි කැල්ලක් කඩාගත් ඔහු එය හොඳට පොඩිකර දරුපටියාට කැව්වා.ඉන්පසු ඔහුද රොටි කෑල්ලක් කටේ දාගත්තා.ඉන්පසු බසය නැවත ගමන් ඇරඹුවා.දරුවා තම තුරුලට ගත් තරුණයා තරුණියව තාම උරයට හේත්තු කරගත්තා.ඉන් ටික වෙලාවකට පසු මට අසුනක් ලැබුනා,නොදැනීම මට හොඳටම නින්ද ගියා.හදිසියේම ඇහැරුණ මට මුලින් නෙත ගියේ මා මෙතෙක් කතාකල අසුන වෙතට,නමුත් මට ඔවුන් ආපසු දකින්න ලැබුනේ නෑ.




මම කටුබැද්දේ ඉඳන් කැම්පස් එකට පයින් එන අතරවාරේ මට මෙහෙම හිතුනා.


ඔවුන් ගොඩක් දුප්පත් තරුණ පවුලක් වෙන්න ඇති,සමහරවිට තමන්ගේ හිතුමනාපෙට තරුණ වියේදී ගත් හදිසි තීරණයක් නිසා මේ තත්වය උදාවන්න ඇති.නමුත්,තමන්ට ලැබෙන දරුවා කුණු බක්කියකට හෝ ගඟකට දමා යන සමාජයක,දරුවන් පසෙකලා දෙමාපියන් ධනය,බලය පසුපස හඹායන සමාජයක,විවාහ ජීවිතයේ මුල් කාලය පමණක් විවාහ ජීවිතය යන පදනම මත ජීවත්වන පවුල් ඇති සාමාජයක මේ දුප්පත්,අසරණ නමුත් ආදරයෙන්,කරුණාවෙන් පවුල අපට කොපමණ ලොකු ආදර්ශයක්දැයි මට සිතුනා...

Thursday, March 5, 2015

අපේ තාත්තා-1

තාත්තා යන වචනය ඇසු පමණින් අපේ සිතට නැගෙන්නේ මොනවාද? ඇත්තටම ඒ මේවා කියල අපිට ලැයිස්තුවක් හදන්න බෑ.ඒ තරමටම තාත්තා යන වචනය ඇසු පමණින් සිතුවිලි,මතකයන්,කතන්දර ගොඩක් අපේ සිතට ගලාගෙන එනවා.මේ මගේ මතකයේ අපේ තාත්තා ගැන රැඳී ඇති එක කතාවක්.

තාත්තා ගැන කෙටි හැඳින්වීමක් කලොත් අපේ තාත්තා යනු,උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා (උසස් පෙළ ගණිත අංශයෙන් F 3ක් ලබාගෙන ඉහලින්ම අසමත් වී ඇත),1991-1997 කාල වකවානුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඉන්පසු දේශපාලනය එපාවී දැන් කුරුඳු රස්සාවේ (කුරුඳු ගසේ පොත්ත මිනිසාගේ ප්‍රයෝජනය ගතහැකි ආකාරයට සකස් කිරීම) නිරතවන,යම් ගායන හැකියාවකින් හෙබි,ගමේ කවුරුත් දන්නා චරිතයක්.ඒ බව මට හොඳින්ම වැටහී ඇත්තේ ගමේ යන යන තැන සිටිනා පුද්ගලයන් මා දුටු විගස “තාත්තා සුමිත් නේද?,ඔයා සුමිත්ගේ පුතෙක් නේද?” වැනි ප්‍රශ්න වලින් මා හට සංග්‍රහ කරන නිසා.

මේ කතාව තාත්තා මට කියූ තාත්තගේ සොඳුරු මතකයක් ගැන. තත්තා උපතින් දරුවන් හතක පවුලක තුන්වැනියා.තාත්තගේ පවුල ගොඩක් දුප්පත්,අගහිඟකම් වලින් පිරුණු පවුලක්.ඉතින් පාසල් යනකොට ඒ දේවල්වලට වියදම් කරන්න තාත්තට සල්ලි තිබිලා නෑ.තාත්තා පාසල් ගිහින් තියෙන්නෙ 80 වකවානුවේ අග හා 90 වකවානුවේ.ඒ කාලය අපේ රට එච්චර දියුණුවී තිබුණු යුගයක් නෙවෙයි.ඉතා පොඩි වාහන ගානක් තමයි අපේ පැත්තටම තිබිල තියෙන්නෙ.ඉතින් විවේක කාලය වෙලාවේ කෑම ගන්න තාත්තට සල්ලි නැති නිසා ඉස්කෝලේ තාප්පෙට එල්ලිලා පාරේ යන වාහන දිහා බලන් ඉන්න තාත්තා පුරුදු වුනාලු.

කාලයත්,මතකයත්,පුරුද්දත් එක්ක ටික කාලයක් යනකොට වාහනයක් එන සද්දෙන් ඒ එන වාහනේ අංකයත්,වර්ගයත් මතකෙන් කියන්න තාත්තට පුළුවන් වුනාලු.ඉතින් මේක දැකපු ඉස්කෝලේ සල්ලි තියෙන අනිත් ළමයි තාත්තා හැකියාව තහවුරු කරගන්න තාත්තා එක්ක සල්ලි වලට ඔට්ටු ඇල්ලුවලු.මට මතකයි අපේ තාත්තා කියනවා කවදාවත් එයා ඒ ඔට්ටුවක් පරාද වෙලා නෑ කියලා.ඒ සල්ලි වලින් තමයි තාත්තා ඒ දවස්  වල පාසල් වියදම් සපුරාගෙන තියෙන්නෙ.

කොච්චර අමාරුවෙන් ඉගෙනගත්තත් ගෙවල්වල ප්‍රශ්න,පාසලේ ගුරුවරු නොමැතිකම,අමතර පන්ති යාමට සල්ලි නොමැතිකම වගේ දේවල් නිසා තාත්තට උසස් පෙළ සමත් වෙන්න බැරි වුනාලු.ඒ නිසා කොච්චර අගහිඟකම් තිබුනත් අපේ තාත්තා අපේ අධ්‍යාපනයට ඒක බලපෑමක් වෙන්න ඇරලා නෑ.තාත්තා එයාට ඉගෙනගන්න බැරිවුණ දේ අපි ඉගෙගන්නවා දැකල ලොකු සතුටක් ලබනවා.


ජීවිතේ හරි පුදුමයි.සමහරු ගොඩක් දේවල් ලබාගන්න උත්සහ කරනවා.එත්,ඒ අයට ඒ දේවල් ලබාගන්න බැරුව යනවා.තවත් සමහරුන්ට ගොඩක් දේවල් ලබාගන්න හැකියාව තියෙනවා.එත්,ඒ අයට ඒ දේවල් ලබාගන්න ඕනෑකමක් නෑ.එන්න,අපි අමාරු අයට උදව් කරමු.ඕනෑකමක් නැති ඇයට තේරුම් කරලා දෙමු.

මමයි තාත්තයි මගේ 21 උපන්දිනේ සමරපු හැටි

.

Wednesday, March 4, 2015

රිදීමාලියද්දේ මාළු මාමා

මට ගිය ජනවාරි මාසෙ ලැබුන ලොකු නිවාඩුවක්.නිවාඩුව ලැබුණ විතරයි ආවා කෝල් එකක් මගේ යාළුවෙක්ගෙන්.

"මචන්,මාමා අද රැ මහියංගනේ යන්න හදන්නේ.උඹ එනවද මාත් එක්ක? ඇවිදලා කරලා ආතල් එකක් අරන් එන්න පුළුවන්."

ගෙවල් ලඟින්ම යන මහියංගන බස් එකේ නැග්ග අපි දෙන්නා පාන්දර මහියංගනෙට සැපත් වුනා.මහියංගනේ හිටියා අපේ යාලුවෙක්.නමින් ක්‍රිෂාන්ත වන ඔහු අපි ආදරේට හඳුන්වන්නේ බන්ඩා,නාකියා කියන නම් වලින්.ගමේ වල බැහැල,හොර කුරුම්බා කාලා අපි එක්ක එක එක ජඩ වැඩ කලාට මහියංගනේට ඔහු ලොකු මහත්තයෙක් (මහියංගනය  ධීවර පරීක්ෂක).වෙලාවකට මිනිස්සු මොකක් හරි වැඩක් කරගන්න අවම මහත්තයා කියල කියනකොට අපිට හිනහත් යනවා.

ඉතින් මේ බන්ඩා ට පැවරිලා තිබුන රාජකාරිය තමයි  ඒ ප්‍රදේශයේ  තිබුන වැව් වල මසුන් බෝකිරීම,ධීවර සමිති පවත්වාගෙන යාම,හොරෙන් මසුන් මරන්නන් (අදාල වැව් වල මසුන් මරිය හැක්කේ සමිතියේ සාමාජිකයන්ට පමණි) කොටුකර නීතිය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු.

ඉතින් අපි එදා දවාලට උයන්න මොනවහරි දෙයක් ගේන්න හිතන් එයාගේ තව සේවකයෙකුත්,එයාත් එක්ක ගිය පුංචි කඩයකට.මේ ප්‍රදේශය රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට (ලංකාවේ දුප්පත්ම ප්‍රදේශයකි) අයත්.කඩේ බදු ගන්නකොට අපිට දැනගන්න ලැබුනා ළඟ තියෙන වැවේ දෙන්නෙක් හොරෙන් මලු අල්ලනවා කියලා.බඩු ගැනිල්ල පැත්තක තිබ්බ අපි පොලු අරගෙන හොරු අල්ලන්න දිව්වා.වැඩි දුරක් යන්න වුනේ නෑ බඩුත් එක්ක හොරු මාට්ටු.කොරලි මාළු එල්ලූ වල 2ක් එක්ක අනවසර මසුන් මරන්නෝ දෙන්නෙක්.

එන පොට හොඳ නෑ කියල දෙන්නටම තේරුණා.

"මහත්තයා,මේ කොරලි වැල් 2 අරගෙන අපිට යන්න දෙන්න."

ඔවුන් කිව්වා.
කැපවීමෙන්,අවංකව සේවය කරන්නකු වූ බණ්ඩාට තවත් තද වුණා.බේරෙන්නට කිසිම ක්‍රමයක් නැති වග ඔවුන්ට තේරුණා.බැරිම තැන එක මිනිහෙක් මෙහීම දෙයක් කිව්වා,

"මහත්තයා,මේ මගේ මස්සිනා.එයා මෙහෙ කෙනෙක් නෙවෙයි,මාළු ටිකක් කන්න ආසයි කිව්වා නිසා අල්ලන්න එක්කගෙන ආවා.මෙයාගේ වරදක් නෑ.අපි දෙන්නම දඬුවම් විඳලා වැඩක් නෑනේ.මේ මනුස්සයා අහිංසකයි.මට විතරක් දඬුවම් කරන්න." ඔහු කිව්වා.

බන්ඩා කීම පිළිගත්තා.මස්සිනා නිදහස් කර එම පුද්ගලයා පමණක් අත්තඩන්ගුවට ගත්තා.ඔහු රථයට නගවාගත් අපි කාර්යාලයට පිටත් වුණා.එන අතරතුරේ ඔහු මෙහෙම කිව්වා
.
"මහත්තයා,මම හරිම අසරණ මනුස්සයෙක්.මට කාත් කවුරුවත් නෑ.දවස් ගානකින් කෑවේ නෑ.අදවත් බත් ටිකක් කන්න හිතාගෙනයි මලු ටිකක් අල්ලාගත්තේ.දැන් කන්න නෑ,ඒ මදිවට තව දඩයකුත් වදින්න යන්නෙ.ලොකු ගානක් ගෙවන්න වෙයිද මහත්තයා.එහෙම උනොත් සති ගානක් බීඩියක්වත් බොන්න වෙන්නේ නෑ සත්තයි.නඩුවත් පුළුවන් තරම් පස්සට දාල දෙන්න.නැත්තම් සල්ලි නැති නිසා හිරේ ලගින්නයි වෙන්නේ මහත්තයා."

අපි කාර්යාලය ලඟා වුණා.මේ මනුස්සයාට ඇපයක් තබන්න කෙනෙක් එනතුරු සැහෙන්න කාලයක් බලා ඉන්න සිදු වුණා.අඩුම තරමේ තමන් සමග මාළු ඇල්ලු මස්සිනාවත් මොහු බැලීමට පැමිනියේ නෑ.අන්තිමේ ගමේ මිනිසෙකු ඇපවී මොහු බේරාගත්තා.

මේ පුද්ගලයා දෙස බලන්න.ඔහු සිදු කලේ නීතියට පටහැනි ක්‍රියාවක් වුවත් ඔහුට හොඳ හදවතක් තිබුනා.ඔහු ඔහුගේ මස්සිනා බේරාගත්තා,නීතියට අවනත වුනා,අවංකව කතා කලා.අපි ඔහුව මුදා හැරීමට කොපමණ උවමනා උනත් නීතියෙන් ගැලවීමට අපටත් නොහැකි වුණා.නමුත් ඔහුට අවම දඩය නියම කිරීමටත්,උසාවියෙන් මුදවාගනිමටත්,ඔහු ප්‍රදේශයේ ධීවර සමිතියට යොමු කිරීමටත් අපට හැකිවුනා.දැන් ඔහු යහපත්,කාටවත් අත නොපා ජීවත්වන ධීවරයෙක්.

ජීවිතයේ කිසිම කෙනෙක් හැම දේම ඇතුව උපදින්නේ නෑ.අපි ඒවා මහන්සියෙන් උපයගන්න ඕන සහ අනිත් අයට උපයාගැනීමට උදව් කරන්න ඕන.එහෙම නැතුව යම් කෙනෙකු යම් හේතුවක් නිසා කොන් කිරීමෙන් සමාජය දියුණු කරන්න බෑ.එහෙනම් අපි තනියෙම කන්නේ නැතුව බෙදාහදාගෙන කමු.





අපට පෙනෙන ආදරය සහ අපට නොපෙනෙන ආදරය

මගේ මුල්ම පොස්ටුව මම ආදරය වෙනුවෙන් වැය කරන්න ඕන කියල හිතුවා."ආදරය කියන්නේ මොකක්ද?" කියල ඇහුවම ගොඩක් අය දෙන පිළිතුර "ආදරේ ගොඩක් සුන්දර දෙයක්" කියන එක. ඇත්තටම ආදරේ ඔය කියන තරම් සුන්දරද?
එහෙනම් ඇයි මේ තරම් ප්‍රශ්න ගොඩක්,නරක සිදුවීම් සිදුවීම් ගොඩක් අපිට දවසකදී අහන්න සිද්ද වෙන්නේ?
මොකක්ද මේකට හේතුව?

මේ වීඩියෝව හොඳින් නරඹන්න




ගොඩක් දේවල් තේරුම් යන්න ඇති.ආදරයේ නොපෙනෙන පැත්ත තේරුම් ගන්න.

ඇත්තටම,ආදරය ගොඩක් සුන්දරයි...