දිගහැරුම්

Thursday, March 12, 2015

පොලවේ අම්මෙක්,තාත්තෙක්

එදා ටිකක් කලබලකාරී ඉරිදා දවසක්.මම අපේ රට තරඟ කරනා කිසිම ක්‍රිකට් තරඟයක් අත්නොහරින පුද්ගලයෙක්.නමුත් අවසානයේ ලංකාවේ පරාජයේ ශෝකයත් අත්විඳීමට සිදුවුන මට සති අන්තයේ මා බෝඩිම බලා ගමන්කරන හවස හතරේ දුම්රියද අල්ලා ගන්න බැරිවුනා.අවසානයේ අසතුටෙන් වුවත් බස් රියකට ගොඩවී බෝඩිමට ගමන් කරන්න සිදුවුනා.

ඒක ලංගම බස් රථයක්.සෙනග පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ.ගමන් මල්ල බසයේ රාක්කයකට දාපු මම පුළුවන් තරම් වෙර දාලා බසයේ මැදටම ගියා.වටපිට විපරම් කල මට එකවරම දිස්වුනේ ඉතා දුක්බර දර්ශනයක්.ඉතා පරණ,දුර්වර්ණ වූ ඇඳුම් වලින් සැරසී සිටි තරුණ යුවලක් මට ඉදිරිපස අසුනේ වාඩිවී සිටියා.එපමණක් නොවෙයි,ඔවුන්ගේ අතේ මාස 10ක් (මට සිතෙන අයුරෙන්) පමණ වයසැති චුටි දරුවෙක්.ප්‍රමාණයෙන් ඉතා කුඩා බ්ලැන්කට්ටුවක රඳවාගෙන සිටි ඒ දරුවා මාරුවෙන් මාරුවට ඒ දුප්පත් අම්මා හා තාත්තා අතේ හුරතල් වෙමින් හිටියා.ගමනේ යම් දුරක් අවසන් වූ පසු බසය තේ බීමට තේ කඩයක් නතර කලා.

දැකගන්නට ලැබුනේ ඉතා දුක්බර මොහොතක්.යම් ආහාරයක් කඩයෙන් රැගෙන කෑමට අතමිටේ මුදල් නොමැති මේ යුවල තමන්ගේ මල්ලේ කඩදාසියක ඔතා තිබු යම්දෙයක් එලියට ගත්තා.රොටි කිහිපයක් හා ලුණු මිරිස් ටිකක් එහි තිබුනා.රොටි කැල්ලක් කඩාගත් ඒ තරුණයා එහි ලුණු මිරිස් ස්වල්පයක් තවරා තරුණියට කැව්වා.තවත් චුටි රොටි කැල්ලක් කඩාගත් ඔහු එය හොඳට පොඩිකර දරුපටියාට කැව්වා.ඉන්පසු ඔහුද රොටි කෑල්ලක් කටේ දාගත්තා.ඉන්පසු බසය නැවත ගමන් ඇරඹුවා.දරුවා තම තුරුලට ගත් තරුණයා තරුණියව තාම උරයට හේත්තු කරගත්තා.ඉන් ටික වෙලාවකට පසු මට අසුනක් ලැබුනා,නොදැනීම මට හොඳටම නින්ද ගියා.හදිසියේම ඇහැරුණ මට මුලින් නෙත ගියේ මා මෙතෙක් කතාකල අසුන වෙතට,නමුත් මට ඔවුන් ආපසු දකින්න ලැබුනේ නෑ.




මම කටුබැද්දේ ඉඳන් කැම්පස් එකට පයින් එන අතරවාරේ මට මෙහෙම හිතුනා.


ඔවුන් ගොඩක් දුප්පත් තරුණ පවුලක් වෙන්න ඇති,සමහරවිට තමන්ගේ හිතුමනාපෙට තරුණ වියේදී ගත් හදිසි තීරණයක් නිසා මේ තත්වය උදාවන්න ඇති.නමුත්,තමන්ට ලැබෙන දරුවා කුණු බක්කියකට හෝ ගඟකට දමා යන සමාජයක,දරුවන් පසෙකලා දෙමාපියන් ධනය,බලය පසුපස හඹායන සමාජයක,විවාහ ජීවිතයේ මුල් කාලය පමණක් විවාහ ජීවිතය යන පදනම මත ජීවත්වන පවුල් ඇති සාමාජයක මේ දුප්පත්,අසරණ නමුත් ආදරයෙන්,කරුණාවෙන් පවුල අපට කොපමණ ලොකු ආදර්ශයක්දැයි මට සිතුනා...

No comments:

Post a Comment