දිගහැරුම්

Thursday, March 5, 2015

අපේ තාත්තා-1

තාත්තා යන වචනය ඇසු පමණින් අපේ සිතට නැගෙන්නේ මොනවාද? ඇත්තටම ඒ මේවා කියල අපිට ලැයිස්තුවක් හදන්න බෑ.ඒ තරමටම තාත්තා යන වචනය ඇසු පමණින් සිතුවිලි,මතකයන්,කතන්දර ගොඩක් අපේ සිතට ගලාගෙන එනවා.මේ මගේ මතකයේ අපේ තාත්තා ගැන රැඳී ඇති එක කතාවක්.

තාත්තා ගැන කෙටි හැඳින්වීමක් කලොත් අපේ තාත්තා යනු,උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා (උසස් පෙළ ගණිත අංශයෙන් F 3ක් ලබාගෙන ඉහලින්ම අසමත් වී ඇත),1991-1997 කාල වකවානුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඉන්පසු දේශපාලනය එපාවී දැන් කුරුඳු රස්සාවේ (කුරුඳු ගසේ පොත්ත මිනිසාගේ ප්‍රයෝජනය ගතහැකි ආකාරයට සකස් කිරීම) නිරතවන,යම් ගායන හැකියාවකින් හෙබි,ගමේ කවුරුත් දන්නා චරිතයක්.ඒ බව මට හොඳින්ම වැටහී ඇත්තේ ගමේ යන යන තැන සිටිනා පුද්ගලයන් මා දුටු විගස “තාත්තා සුමිත් නේද?,ඔයා සුමිත්ගේ පුතෙක් නේද?” වැනි ප්‍රශ්න වලින් මා හට සංග්‍රහ කරන නිසා.

මේ කතාව තාත්තා මට කියූ තාත්තගේ සොඳුරු මතකයක් ගැන. තත්තා උපතින් දරුවන් හතක පවුලක තුන්වැනියා.තාත්තගේ පවුල ගොඩක් දුප්පත්,අගහිඟකම් වලින් පිරුණු පවුලක්.ඉතින් පාසල් යනකොට ඒ දේවල්වලට වියදම් කරන්න තාත්තට සල්ලි තිබිලා නෑ.තාත්තා පාසල් ගිහින් තියෙන්නෙ 80 වකවානුවේ අග හා 90 වකවානුවේ.ඒ කාලය අපේ රට එච්චර දියුණුවී තිබුණු යුගයක් නෙවෙයි.ඉතා පොඩි වාහන ගානක් තමයි අපේ පැත්තටම තිබිල තියෙන්නෙ.ඉතින් විවේක කාලය වෙලාවේ කෑම ගන්න තාත්තට සල්ලි නැති නිසා ඉස්කෝලේ තාප්පෙට එල්ලිලා පාරේ යන වාහන දිහා බලන් ඉන්න තාත්තා පුරුදු වුනාලු.

කාලයත්,මතකයත්,පුරුද්දත් එක්ක ටික කාලයක් යනකොට වාහනයක් එන සද්දෙන් ඒ එන වාහනේ අංකයත්,වර්ගයත් මතකෙන් කියන්න තාත්තට පුළුවන් වුනාලු.ඉතින් මේක දැකපු ඉස්කෝලේ සල්ලි තියෙන අනිත් ළමයි තාත්තා හැකියාව තහවුරු කරගන්න තාත්තා එක්ක සල්ලි වලට ඔට්ටු ඇල්ලුවලු.මට මතකයි අපේ තාත්තා කියනවා කවදාවත් එයා ඒ ඔට්ටුවක් පරාද වෙලා නෑ කියලා.ඒ සල්ලි වලින් තමයි තාත්තා ඒ දවස්  වල පාසල් වියදම් සපුරාගෙන තියෙන්නෙ.

කොච්චර අමාරුවෙන් ඉගෙනගත්තත් ගෙවල්වල ප්‍රශ්න,පාසලේ ගුරුවරු නොමැතිකම,අමතර පන්ති යාමට සල්ලි නොමැතිකම වගේ දේවල් නිසා තාත්තට උසස් පෙළ සමත් වෙන්න බැරි වුනාලු.ඒ නිසා කොච්චර අගහිඟකම් තිබුනත් අපේ තාත්තා අපේ අධ්‍යාපනයට ඒක බලපෑමක් වෙන්න ඇරලා නෑ.තාත්තා එයාට ඉගෙනගන්න බැරිවුණ දේ අපි ඉගෙගන්නවා දැකල ලොකු සතුටක් ලබනවා.


ජීවිතේ හරි පුදුමයි.සමහරු ගොඩක් දේවල් ලබාගන්න උත්සහ කරනවා.එත්,ඒ අයට ඒ දේවල් ලබාගන්න බැරුව යනවා.තවත් සමහරුන්ට ගොඩක් දේවල් ලබාගන්න හැකියාව තියෙනවා.එත්,ඒ අයට ඒ දේවල් ලබාගන්න ඕනෑකමක් නෑ.එන්න,අපි අමාරු අයට උදව් කරමු.ඕනෑකමක් නැති ඇයට තේරුම් කරලා දෙමු.

මමයි තාත්තයි මගේ 21 උපන්දිනේ සමරපු හැටි

.

No comments:

Post a Comment