මට ගිය ජනවාරි මාසෙ ලැබුන ලොකු නිවාඩුවක්.නිවාඩුව ලැබුණ විතරයි ආවා කෝල් එකක් මගේ යාළුවෙක්ගෙන්.
"මචන්,මාමා අද රැ මහියංගනේ යන්න හදන්නේ.උඹ එනවද මාත් එක්ක? ඇවිදලා කරලා ආතල් එකක් අරන් එන්න පුළුවන්."
ගෙවල් ලඟින්ම යන මහියංගන බස් එකේ නැග්ග අපි දෙන්නා පාන්දර මහියංගනෙට සැපත් වුනා.මහියංගනේ හිටියා අපේ යාලුවෙක්.නමින් ක්‍රිෂාන්ත වන ඔහු අපි ආදරේට හඳුන්වන්නේ බන්ඩා,නාකියා කියන නම් වලින්.ගමේ වල බැහැල,හොර කුරුම්බා කාලා අපි එක්ක එක එක ජඩ වැඩ කලාට මහියංගනේට ඔහු ලොකු මහත්තයෙක් (මහියංගනය ධීවර පරීක්ෂක).වෙලාවකට මිනිස්සු මොකක් හරි වැඩක් කරගන්න අවම මහත්තයා කියල කියනකොට අපිට හිනහත් යනවා.
ඉතින් මේ බන්ඩා ට පැවරිලා තිබුන රාජකාරිය තමයි ඒ ප්‍රදේශයේ තිබුන වැව් වල මසුන් බෝකිරීම,ධීවර සමිති පවත්වාගෙන යාම,හොරෙන් මසුන් මරන්නන් (අදාල වැව් වල මසුන් මරිය හැක්කේ සමිතියේ සාමාජිකයන්ට පමණි) කොටුකර නීතිය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු.
ඉතින් අපි එදා දවාලට උයන්න මොනවහරි දෙයක් ගේන්න හිතන් එයාගේ තව සේවකයෙකුත්,එයාත් එක්ක ගිය පුංචි කඩයකට.මේ ප්‍රදේශය රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවට (ලංකාවේ දුප්පත්ම ප්‍රදේශයකි) අයත්.කඩේ බදු ගන්නකොට අපිට දැනගන්න ලැබුනා ළඟ තියෙන වැවේ දෙන්නෙක් හොරෙන් මලු අල්ලනවා කියලා.බඩු ගැනිල්ල පැත්තක තිබ්බ අපි පොලු අරගෙන හොරු අල්ලන්න දිව්වා.වැඩි දුරක් යන්න වුනේ නෑ බඩුත් එක්ක හොරු මාට්ටු.කොරලි මාළු එල්ලූ වල 2ක් එක්ක අනවසර මසුන් මරන්නෝ දෙන්නෙක්.
එන පොට හොඳ නෑ කියල දෙන්නටම තේරුණා.
"මහත්තයා,මේ කොරලි වැල් 2 අරගෙන අපිට යන්න දෙන්න."
ඔවුන් කිව්වා.
කැපවීමෙන්,අවංකව සේවය කරන්නකු වූ බණ්ඩාට තවත් තද වුණා.බේරෙන්නට කිසිම ක්‍රමයක් නැති වග ඔවුන්ට තේරුණා.බැරිම තැන එක මිනිහෙක් මෙහීම දෙයක් කිව්වා,
"මහත්තයා,මේ මගේ මස්සිනා.එයා මෙහෙ කෙනෙක් නෙවෙයි,මාළු ටිකක් කන්න ආසයි කිව්වා නිසා අල්ලන්න එක්කගෙන ආවා.මෙයාගේ වරදක් නෑ.අපි දෙන්නම දඬුවම් විඳලා වැඩක් නෑනේ.මේ මනුස්සයා අහිංසකයි.මට විතරක් දඬුවම් කරන්න." ඔහු කිව්වා.
බන්ඩා කීම පිළිගත්තා.මස්සිනා නිදහස් කර එම පුද්ගලයා පමණක් අත්තඩන්ගුවට ගත්තා.ඔහු රථයට නගවාගත් අපි කාර්යාලයට පිටත් වුණා.එන අතරතුරේ ඔහු මෙහෙම කිව්වා
.
"මහත්තයා,මම හරිම අසරණ මනුස්සයෙක්.මට කාත් කවුරුවත් නෑ.දවස් ගානකින් කෑවේ නෑ.අදවත් බත් ටිකක් කන්න හිතාගෙනයි මලු ටිකක් අල්ලාගත්තේ.දැන් කන්න නෑ,ඒ මදිවට තව දඩයකුත් වදින්න යන්නෙ.ලොකු ගානක් ගෙවන්න වෙයිද මහත්තයා.එහෙම උනොත් සති ගානක් බීඩියක්වත් බොන්න වෙන්නේ නෑ සත්තයි.නඩුවත් පුළුවන් තරම් පස්සට දාල දෙන්න.නැත්තම් සල්ලි නැති නිසා හිරේ ලගින්නයි වෙන්නේ මහත්තයා."
අපි කාර්යාලය ලඟා වුණා.මේ මනුස්සයාට ඇපයක් තබන්න කෙනෙක් එනතුරු සැහෙන්න කාලයක් බලා ඉන්න සිදු වුණා.අඩුම තරමේ තමන් සමග මාළු ඇල්ලු මස්සිනාවත් මොහු බැලීමට පැමිනියේ නෑ.අන්තිමේ ගමේ මිනිසෙකු ඇපවී මොහු බේරාගත්තා.
මේ පුද්ගලයා දෙස බලන්න.ඔහු සිදු කලේ නීතියට පටහැනි ක්‍රියාවක් වුවත් ඔහුට හොඳ හදවතක් තිබුනා.ඔහු ඔහුගේ මස්සිනා බේරාගත්තා,නීතියට අවනත වුනා,අවංකව කතා කලා.අපි ඔහුව මුදා හැරීමට කොපමණ උවමනා උනත් නීතියෙන් ගැලවීමට අපටත් නොහැකි වුණා.නමුත් ඔහුට අවම දඩය නියම කිරීමටත්,උසාවියෙන් මුදවාගනිමටත්,ඔහු ප්‍රදේශයේ ධීවර සමිතියට යොමු කිරීමටත් අපට හැකිවුනා.දැන් ඔහු යහපත්,කාටවත් අත නොපා ජීවත්වන ධීවරයෙක්.
ජීවිතයේ කිසිම කෙනෙක් හැම දේම ඇතුව උපදින්නේ නෑ.අපි ඒවා මහන්සියෙන් උපයගන්න ඕන සහ අනිත් අයට උපයාගැනීමට උදව් කරන්න ඕන.එහෙම නැතුව යම් කෙනෙකු යම් හේතුවක් නිසා කොන් කිරීමෙන් සමාජය දියුණු කරන්න බෑ.එහෙනම් අපි තනියෙම කන්නේ නැතුව බෙදාහදාගෙන කමු.
No comments:
Post a Comment